ලිනක්ස් භාවිතා වන මෙහෙයුම් පද්ධතියක පයිතන් ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද?

Submitted by Kamal Wickramanayake on

භාවිතා කරන ලිනක්ස් බෙදාහැරීමේ ඇති පැකේජ් මැනේජ්මන්ට් මෘදුකාංගය භාවිතා කොට පයිතන් පහසුවෙන් ඉන්ස්ටෝල් කළ හැක.

ඔබ භාවිතා කරනුයේ උබුන්ටු නම් "apt" විධානය පහත පරිදි ටර්මිනලයක භාවිතා කොට පයිතන් 3.8 ඉන්ස්ටෝල් කළ හැක:

sudo apt install python3.8

ඉන් පසුව ටර්මිනලයක "python3.8" යන්න ටයිප් කළහොත් පයිතන් ඉන්ටරැක්ටිව් ෂෙල් එක පහත දැක්වෙන අයුරින් දැක ගත හැකි වනු ඇත:

Python interactive shell

පයිතන් ඉන්ටරැක්ටිව් ෂෙල් එක පරික්ෂා කර බැලීමට කැමති නම් පහත දැක්වෙන පයිතන් වගන්තිය ප්‍රොම්ප්ට් (">>>") එකට පසුව ටයිප් කර එන්ටර් කරන්න:

print("Hello World!")

"Hello World!" යන්න මුද්‍රණය වනවා ඇත.

පයිතන් ඉන්ටරැක්ටිව් ෂෙල් එකෙන් ඉවත් වීමට CTRL+d ටයිප් කරන්න.

පයිතන් IDLE යනු පයිතන් මෘදුකාංග නිපදවීමේදී භාවිතා කළ හැකි මෙවලමකි. IDLE යනු Integrated Development and Learning Environment යන්නට කෙටි යෙදුමකි. ඔබට අවශ්‍ය වනුයේ පයිතන් මෘදුකාංග නිපදවීමට නොව ක්‍රියාත්මක කිරීමට පමණක් නම් IDLE ඉන්ස්ටෝල් කිරීම අවශ්‍ය නොවේ. තවද පයිතන් ක්‍රමලේඛණය සඳහා භාවිතා කළ හැකි IDLE මෙවලමට වඩා වැඩි දියුණු හැකියාවන්ගෙන් යුත් මෙවලම් ද පවතියි. නමුත් IDLE භාවිතා කර බැලුමට ඔබ කැමැත්තේ නම් එය කලින් ආකාරයටම මෙසේ ඉන්ස්ටෝල් කළ හැක:

sudo apt install idle-python3.8

දැන් ඇප්ලිකේෂන් මෙනුවෙන් IDLE තේරීමෙන් හෝ ටර්මිනලයක "idle-python3.8" යන විධානය ටයිප් කිරීමෙන් IDLE ක්‍රියාත්මක කළ හැක. පහත දැක්වෙන වින්ඩෝවට සමාන වින්ඩෝවක් දැකිය හැකි වනු ඇත:

Python IDLE