ලිනක්ස් ටර්මිනලයක දෙන ලද විධානයන් පහසුවෙන් සොයා ගන්නේ කෙසේද?

Submitted by Kamal Wickramanayake on

ලිනක්ස් ටර්මිනලයක් භාවිතා කිරීමේදි නොයෙක් අවස්ථාවලදී පෙර දෙන ලද විධානයන් සොයා ගෙන නැවත එම විධානයන් ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. කලින් දෙන ලද විධාන අතර එහා මෙහා යෑමට Up arrow සහ Down arrow යතුරු භාවිතා කිරීමට පුළුවන්. එහෙත් යම් පෙර අවස්ථාවක දෙන ලද විධානයක මුල අකුරු කිහිපයක් දන්නා විට සම්පූර්ණ විධානය සොයා ගැනීමට Page Up සහ Page Down යතුරු යොදා ගැනීම ඉතාම පහසුයි.

උදාහරණයක් ලෙස ටර්මිනලයක පෙර යම් අවස්ථාවක දෙන ලද විධානයක් "cat /etc/" ලෙස ආරම්භ වනවා යැයි සිතමු. එවිට සම්පූර්ණ විධානය ලබා ගැනීම සඳහා කළ යුත්තේ "cat /etc" ලෙස ටර්මිනලයේ ටයිප් කර Page Up යතුර එබීමයි. එවිට සම්පූර්ණ විධානය පූර්ණ ලෙස දැක ගැනීමට හැකි වෙනවා. එම අකුරුවලින්ම ආරම්භ වන ඊටත් පෙර දෙන ලද විධාන වෙත යෑමට අවශ්‍ය නම් Page Up යතුර නැවත එබිය හැකියි. ආපසු යෑමට Page Down යතුර භාවිතා කළ හැකියි.

සමහර ලිනක්ස් බෙදා හැරීම්වල Page Up සහ Page Down යතුරු මේ ආකාරයට ලිනක්ස් ටර්මිනල තුළ නිතැතින්ම ක්‍රියා කරනවා. ඒත් සමහර ලිනක්ස් බෙදා හැරීම්වල එසේ නැහැ. Page Up සහ Page Down යතුරු මේ ආකාරයට ක්‍රියා නොකරයි නම් එසේ ක්‍රියා කිරීමට කළ යුත්තේ යම් ගොනුවක වෙනස් කිරීමක් කිරීමයි. ඒ සඳහා /etc/inputrc ගොනුව ටෙක්ස්ට් එඩිටරයක විවෘත කර එහි පහත දැක්වෙන configuration කොටස වෙත යන්න.

# mappings for "page up" and "page down" to step to the beginning/end
# of the history
# "\e[5~": beginning-of-history
# "\e[6~": end-of-history
# alternate mappings for "page up" and "page down" to search the history
# "\e[5~": history-search-backward
# "\e[6~": history-search-forward

Page Up සහ Page Down යතුරු අප විස්තර කළ ආකාරයට ක්‍රියා කළ යුතු නම් එම කොටසේ යටම දැක්වෙන පේළි දෙකේ "#" අකුරු ඉවත් කර එය මෙසේ වෙනස් කරන්න:

# mappings for "page up" and "page down" to step to the beginning/end
# of the history
# "\e[5~": beginning-of-history
# "\e[6~": end-of-history
# alternate mappings for "page up" and "page down" to search the history
"\e[5~": history-search-backward
"\e[6~": history-search-forward

දැන් නව ටර්මිනලයක් ගෙන පරික්ෂා කර බලන්න.

යම් විධානයක මුල අකුරු දන්නා විට ඉහත සඳහන් කළ පරිදි Page Up සහ Page Down යතුරු භාවිතා කර සම්පූර්ණ විධානය සොයා ගන්න පුළුවන්. ඒත් යම් විධානයක මැද යම් අකුරු කිහිපයක් භාවිතා කර සම්පූර්ණ විධානය සොයා ගැනීමට උවමනා නම් කළ හැක්කේ කුමක් ද? ඒ සඳහා ටර්මිනලයක "CTRL + r" යන යතුරු ඔබා ඔබට අවශ්‍ය අකුරු ටයිප් කර බලන්න. එහිදී යම් විධානයක් දැක්වෙන විට Enter යන යතුර එබුවහොත් එම විධානය ක්‍රියාත්මක වෙනවා. එසේ නොවී සෙවීම් mode එකෙන් ඉවත් වීමට නම් Left arrow හෝ Right arrow යතුරු භාවිතා කරන්න පුළුවන්.

Tags